2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මගෙන් අද වෙන මොනවද කෙරෙන්න ඕන?

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

විකුණන භාණ්ඩ සහ සේවා අතර පවතින තරගය නිසා පාරිභෝගිකයාට තෘප්තිය වැඩිකරගන්නට අවස්ථාව එන්න එන්නම ලොව වැඩිවෙමින් යයි. හැමදාම දියුණු වෙමින් පවතින රටවල බහුතර ජනතාව වෙළඳ දැන්වීම් තුළින් පමණක් බඩු විකුණා ගත හැකි යැයි යල්පැන ගිය ආකල්පයක් අල්ලාගෙන සිටියදී පාරිභෝගික අපේක්ෂා මොනවාදැයි සොයා බලන්නට විවිධාකාර වූ ක්‍රමවේද ගෙනෙන්නට දියුණු රටවල දක්ෂයන් සමර්ථ වී සිටිති.

බයිසිකලයක්, පරිගණකයක්, නැවුම් මල් පොකුරක්, තොප්පියක් හෝ යට ඇඳුම් කට්ටලයක් පමණක් නොව එදිනෙදා භාවිතයට අවශ්‍ය ආහාර පාන පවා ඉන්ටර්නෙට්වලින් ඇණවුම් කර මිලට ගෙන ගෙදරටම ගෙනැවිත් දෙන සේවා අද වැඩිවෙමින් පවතී. කඩේ යෑම වෙනුවට ඒ වේලාව යොදවා ඊට වැඩියෙන් ඵලදායක වූවක් කරගන්නට රිසි නම් ඒ සඳහා පහසු මෙන්ම අනගි සේවයද එන්න එන්නම දියුණු වෙමින් පවතී. එනමුත්, අතින් අල්ලා හොලවා නැහැයට ළංකර සුවඳ බලා බඩු ගන්නට හැකියාව අහිමි වී නැත.

ඉන්ටර්නෙට් බඩු ගනිද්දී, තමන්ට ගැලපෙන ලෙස හොයාගැනීම සඳහා උදව්වට එන චැට් නොමඳ වෙති. දක්ෂ ව්‍යවසායකයා යනු එවැනි මාර්ගයකින් වැඩි මිල බඩුවක් පාරිභෝගිකයාගේ ඇඟේ ගහන්නට මාන බලන්නෙක් නොවේ. වැඩි ලාබ සොයන්නට සමත්වෙන දක්ෂයා නියැලෙන්නේ මිල දී ගන්නට ඉදිරිපත් වූවාගේ අභිමතය අනුව තිතටම හරියන භාණ්ඩය හෝ සේවාව සපයන්නටයි.

වැඩි ලාබ සොයන්නට සමත් වූ දක්ෂ ව්‍යවසායකයා තමන් සමඟ ගනුදෙනු කරන අයගේ පාරිභෝගික තෘප්තිය දැන ගැනීම පිණිස වෙහෙසෙන්නෙකි. ඒ සඳහා එම ව්‍යවසායකයන්ට මෙවලම් හදා දෙන්නට සමත් වූවන්ද ලාබ සොයන්නට සමත් වෙති.
ෆින්ලන්තයේ කිරි ගොවිපොළක හැදුණ වැඩුණ Heikki Vaananen වයස 14-15 දී පමණ පාරිභෝගික තෘප්තියේ වැදගත්කම හඳුනාගත් අයෙකි. ලොකු කඩයකට යන ඔහුට අවශ්‍ය දේ හොයාගන්නට උදව් කරන්නට කිසිවෙක් නොවීය. එහෙනම් එය ඉටුකරන වෙන කඩයක් වෙන කොහේ හරි ඇතැයි ඔහු කල්පනා කළේය.

ෆින්ලන්තයේ දෙවැනි විශාලතම නගරයේ වාසය කරන ඔහු, (දෙවැනි විශාලතම නගරයේ ගුවන් තොටුපොළ යනු ගුවන්යානයේ සිටිය දී රථගාලේ තමාගේ රථය හඳුනාගත හැකි තරම් වූවකි), පාරිභෝගික තෘප්තිය මනින මෙවලමක් අත්හදා බලන්නේ එහි කුඩා ග්‍රොසරි කඩයක දී ය. HappyOrNot නමින් එය 2009 දෙසැම්බර් මාසයේ දී එළිබැස්සේ ය.

ඔවුන් බලාපොරොත්තු වූයේ දහ දෙනෙක් හෝ විසි දෙනෙක් ප්‍රතිචාර දක්වනු ඇතැයි කියාය. ඒත් එදින 120 කට වැඩි පිරිසක් ඒ මෙවලම මාර්ගයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ. Heikki Vaananen ඉදිරිපත් කළේ සතුටුද නැද්ද බොත්තමක් ඔබලා පෙන්වන්න අවස්ථාවකි. වැඩිකලක් නොගිහින් එය ඩිස්නි වැනි ආයතන මෙන්ම හීත්රෝ ගුවන්තොටුපොළ ද භාවිතයට ගත්හ.

ඔබ කළ ගනුදෙනුව පිළිබඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නම් ඒ සඳහා ඊ ළඟ ගමනේ දී භාවිත කළ හැකි වට්ටමක් හෝ තිළිණයක් සපයන ආයතන ඇත. ඉන්ටර්නෙට් පිවිස, තම ඊමේල් ලිපිනය සපයා, තමා බඩු ගත් රිසිට් පතේ සඳහන් අංකයක් ඇතුළු කර (තමන් සැබැවින්ම බඩුව මිල දී ගත් අයෙක් බව පෙන්වීම සඳහා) ගනුදෙනුව ගැන ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නට කාලයක් හෝ උනන්දුවක් අද බොහෝ අයට නැති බව හඳුනාගත් Heikki Vaananen ඒ සඳහා සාර්ථක පිළියමක් ගෙනැවිත් ලාබ සොයන්නෙක් විය. තම නිෂ්පාදනය ගැන වැඩියෙන් පාරිභෝගික ප්‍රතිචාර දැනගත හැකියාව ලැබෙන්නේ එය ලබාදීම පාරිභෝගිකයාට වැඩියෙන් පහසු කරවීමෙනි.

පෑනක් පැන්සලක් සාක්කුවේ නැති, ඉන්ටර්නෙට් යා හැකි උපකරණයක් බොහෝ අයෙකු අතේ තිබෙන යුගයක, පාරිභෝගික තෘප්තිය ගැන කොළයක ලියන්නට ඉදිරිපත් කර ඇති යල්පැන ගිය ක්‍රමවේද සමහර තැන්වල තවමත් දකින්නට ලැබේ.
ලොව මුල්ම පාරිභෝගික පැමිණිල්ල වසර හාරදහසක් පමණ පැරුණි යැයි වාර්තා වේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක අංක 131236 නමින් පවතින පුරාණ වස්තුවේ කියැවෙන පරිදි එය, තමනට නියමිත තඹ සරණීය වෙනුවට බාල එකක් එවා ඇතැයි බැබිලෝනියන් යුගයේ Nanni නමින් වූවෙක් Ea-nasir නැමැත්තාට යවන ලද පැමිණිල්ලයි.

පාරිභෝගිකයා රවටා මහා ධනයක් රුස් කරන්නට සමත් වූවන් සිටියේ සහ තවමත් සිටිනුයේ රජය මැදිහත්වීමෙන් ඔවුන් හා අත්වැල් බැඳගත් නිසා විශේෂ වරප්‍රසාද ලබන එද්දලයන්ට පමණක් ව්‍යවසායක වෑයමට ඉඩදෙන සමාජවාදය පවතින තැන්වලයි.

භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා මිල ගෙවන්නට පෙර එය විකුණන අය පාරිභෝගික තෘප්තිය සඳහා කුමන අවධානයක් යොමු කරනවා දැයි අද ඉතා පහසුවෙන් විමසා බැලිය හැකියි. පාරිභෝගික ප්‍රසාදය දක්වන්නට හැකි ක්‍රමවේදයක් ගනුදෙනුව අවසානයේ සපයන්නට බිය නැතිවා සේම, වෙබ්, බ්ලොග්, ෆේස්බුක් යනාදී හැකි සෑම වෑයමකින්ම පාරිභෝගිකයා සමඟ නිරතුරු වෑයමක් නොගන්නේනම් එවැනි ව්‍යවසායක වෑයමක් හෙට වෙද්දී පැවතීම සැක සහිතයි.

ඉතින්, මගෙන් අද වෙන මොනවද කෙරෙන්න ඕන? යන ප්‍රශ්නයට පිළිතුර සෑම ව්‍යවසායකයෙකුම තමන් ඉලක්ක කරගන්නා පාරිභෝගිකයා වෙතින් සොයා බලා දැනගත යුත්තකි. ආචාර ධාර්මික ලෙස ඉහළ ලාබ සොයන්නට නම් වෙළඳපොළ තරගය හමුවේ පාරිභෝගික තෘප්තිය වැඩිකරත යුතුමයි. ඔව්, අනගි දැයක් සිය වෙහෙසේ ඵලදාවෙන් ලබාගැනීම සඳහා සොයන්නෙකුට එය සැපයීම අර රජයේ මැදිහත් වීමෙන් ජනතා බදු මුදලින් යැපෙනවාට වඩා අතිශයෙන්ම ඉහළ සදාචාරාත්මක මට්ටමක පවතී.

 අරුණි ශපීරෝ